You are currently viewing සසර සිරිපා කරුණාව

සසර සිරිපා කරුණාව

Spread the kindness...

අනන්ත සංසාරයක් අනේක විධ දුගති අත්බව වල ඉපිද, වචනයෙන් ගිණිය නොහැකි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් බුද්ධෝත්පාද කාල බොහොමයක් පසු කරමින් අප මේ පැමිණ සිටින්නේ දෙව් මිනිස් සැප කෙළවරටයි. බුද්ධෝත්පාද කාලයක, බුද්ධ ශක්තිය තුළ බුදු දහම බබළන රටක, පුණ්‍යවන්ත මනුස්ස භවයක් ලැබූ අප වෙහෙසිය යුත්තේ භව ගමන පූර්ණ වශයෙන්ම නවතා දැමීමට නොවේද??? හිස ගිනි ගත් අයෙක් එගිනි නිවන්නට දරනා උත්සාහයටත් වඩා වැඩි වීර්‍යයකින් වැඩිය යුතු මේ දහම් මාර්ගයට උපනිශ්‍රයක් වනු පිණිස සියලු ලෝක සියලු සත්වයන් වෙනුවෙන් උපමා උපමේය ගලපමින් රචනා කරන්නට යෙදුණු මේ දහම් පඬුර නිවීම සොයනා සියලු දනන්ට තම ජීවිතයට ගලපමින් ප්‍රායෝගිකව වැඩීම තුළින් ම උතුම් නිර්වාණය සාක්ශාත් කරගැනීමටම උපනිශ්‍රයක් වෙත්වා !!!

සසර සිරිපා කරුණාව

ශ්‍රී පාද ගමනක් යැයි යමක් ඇත. එය යා යුතුය. එය යන ක්‍රමයක්ද ඇත. එය යම් දිනයක ගිය බව තමන්ම දැන ගනුද ඇත. ඇතමෙක් කළින්ම කට වරද්දා ගනී. ඔවුන් කිසිදා ශ්‍රී පාද ගමන අවසන් කරන්නේ නැත. ඇතමෙක් පාමුළටම ගොස් පෙම් හබයක හෝ පැටලී වෙනත් මගක යනු ඇත. ඔවුන්ටද ශ්‍රී පාදය වෙත යෑම උගහටය. ඇතමෙක්ට යාමට සිදු වන්නේ තව කෙනෙකුන් ඇදගෙන පමණක් නොව, පොඩි එවුන් දෙතුන් දෙනෙකුත් කර පින්නාගෙනය. නමුත් එසේ තරණය කරන්නෝද නැතුවාම නොවේ. ඔවුන් මහත් වීර්‍යයවන්තයෝය. නමුත් තනිව, එකම අරමුණකින් බර අඩුව නගින්නෝ ප්‍රඥාවන්තයෝය. ඔවුන් නොපමාව තරණය කරනු ඇත.

ශ්‍රී පාදය නගිත්ම, කරුණා කොට බසින්නන්ගෙන්, ඇතමෙක් ගමනාන්තයට තව ඇති දුර අසනු ඇත. කරුණා කර බසින්නාගේ මුවගට සිනහවක් පමණක් නංවන්නට මෙවැනි ඇතැම් විමසුම් සමත්‍ ය. මන්ද තවමත් අසන්නා සිටින්නේ ගමනේ මුල් අවදියේය. ගව් ගණනක් ඈතින් ඇති පහන් කණුව, ඔවුන් සිතා සිටින්නේ ශ්‍රී පාදය කියාය. නමුත් ශ්‍රී පාදය යනු පහන් කණුවක් නොවන බව වටහා ගන්නට ඔවුන්ට එහි යෑමටම සිදු වනු ඇත.

ශ්‍රී පාද කරුණාවට බොහෝ හොඳ සූදානමක් අවශ්‍යය. නැත්නම් මග ඇද වැටීමට කාරණා බොහොමයක් ඇත. අවාරයට නම් ශ්‍රී පාද ගමන මැද උදව් වන කඩ පිල් නැත. අවාර කෝටියක් පසු කර, වාරයක් ආ විට පිටින් ප්‍රත්‍ය ආහාර දෙන, කළණ මිතුරු කඩ එමටය. නමුත්, අවාසනාවකට ඒ සශ්‍රීක කාලය ගෙවී ගොසින්‍ ය. දැන් ඇත්තේ කඩ දෙක තුනක් පමණය. ඒවායේද රොටියක්, ආප්පයක් විතරක් තිබෙනු ඇත. නමුත් එසේ හෝ තිබීම නම් මහත් වූ භාග්‍යයක්මය. අන්තිම කඩය ඇත්තේ අහස් ගව්වට කලින්‍ ය. ඉන්පසු නම් ගමන තනිවම යා යුතුය. මහගිරිදඹේ ඇති මේ අහස් ගව්ව මහ අමාරු හෙලක් වුවත් මෙච්චර දුර ආ කෙනා ආයෙත් නම් නොහැරෙනු ඇත. කෙසේ හෝ ශ්‍රී පතුල වෙත යනු ඇත. එදාට ඔහු ශ්‍රී පතුලට ආ බව දැන ගනු ඇත. නැවත නම් යමක් කල යුතු නොවේ, ඔහු ආ බව ඔහුම දැන ගනු ඇත. එදිනට භවය උද්ධ කිරීම නැමැති බුද්ධ සූර්ය අරුණෝදය ඔහුට හෝ ඇයට ඉර සේවයක්ව මහත් ආලෝකයක් ලබාදෙනු ඇත.

අබුද්ධෝත්පාද මහ අවාර ගෙවා, කඩ අඩුවෙන් හෝ ඇති වාරයක, මහා ව්‍යක්ත නඩේ ගුරුන්වහන්සේලා සමඟ, ශ්‍රී පාදය කරුණා කරන්නට ඇස් ඇති පින්වත් ඔබ හට මේ දහම් පඬුරු උපමාව සුදුසු පරිදි ගැලපී, උතුම් නිර්වාණ ශාන්තිය නමැති ශ්‍රී පාද ගමන පූර්ණය කරන්නට ගෞතම බුද්ධ ශාසනය තුළදී මේ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය හේතුවක්, වාසනාවක්ම වේවා…!!!

තෙරුවන් සරණයි!


Spread the kindness...

This Post Has 2 Comments

  1. Kaushalya Vimukthini

    ඉතාම වටිනා ධර්ම දානයක් … මේ සඳහා උර දුන් සියලූම කළ්‍යාණ මිත්‍රයනි, ඔබ සියලු දෙනාට වචනයෙන් ගිණිය නොහැකි මේ මහා කුසලය මේ භවයේදීම නිවන් පූර්ණයටම උපනිශ්‍රයක් වෙත්වා!!! නිවීම සොයනා සියලු දනන්ට මෙය නිවීමටම උපනිශ්‍රයක් වෙත්වා!!!! ඔබ සියලු දෙනා මේ උරදෙන්නේ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ රාජකාරියක් උදෙසාමයි…ඔබ සියලු දෙනාටම මාගේ ගෞරව පූර්ව නමස්කාරයම වේවා!!!

    සරණයි !!!!

  2. Sensen

    A very nice explanation.
    May the writer be able to produce more such writings !

Leave a Reply