පියාණන් නම් දැන් බොහෝ දේ ගැන අවබෝධයෙන් බව කතාවේදී ඔහුට වැටහේ. එය ඔහුගේ ජීවිතයේ ලද ලොකුම ජයග්‍රහණයක් . ඔහු පියා සමඟ භව ගාණක බැඳීමක් ඇති බව ඔහුට බොහෝ විට දැනී ඇත. ඉදින් ඒ බැඳීමේ අවසන් භවය දෙදෙනාටම මෙය කර ගැනීමට ඔහු උපරිම කැපකිරීම් කරපු බවත් , කරන බවත් ඔහුට විශ්වාසයි. ඔහුගේ මෑණියන් තවමත් හැඬූ කඳුලින් ..ඇය මේ ගමන දකින්නේ ඔහුගේ බිරිඳගේ ඒ උතුම් පතිවතට කෙරෙන අසාධාරණයක් ලෙසයි. නමුත් මෙය ඔහුට සිදුකළ හැකි උතුම්ම, ඉහළම සාධාරණය බව මවට කියා දීමට තරම් ඔහු නොසමත්. නමුත් මවට පින්, කුසල් පිරී ඒ පරම සත්‍යයත් , ඒ උතුම් මාර්ගයත් ඉක්මණින්ම වැටහේවා යැයි ඔහුගේ ප්‍රාර්ථනයයි. ඔහුව මෙසේ ඉතා සෙනෙහසින් , ආදරයෙන් ඇතිදැඩි කිරීමම ඇයට මහත් ඵලයක්,මහානිශංසයක් වන බව ඔහුගේ විශ්වාසයයි.. එහෙත් අනවශ්‍ය අකුසල කර්ම සිදු නොකරගෙන සිටීම ඉතා වැදගත්.දාරක ස්නේහයට එවන් දෙයක් සිදුකිරීමට පවා හැකියි. ආදරයේ , සෙනෙහසේ භයානකකම එයයි..
ඔහුට දුරකථන ඇමතුම් කීපයකට පිළිතුරු දෙන්නට සිදුවෙයි. අනතුරුව ඔහුම තවත් ඇමතුම් කීපයක් ගනී.සාමාන්‍ය ජීවන රටාවෙන් වෙන්වීම පහසු නැත. සිත ඒවාටම ඇදීයයි. නමුත් ඒවායෙන් මිදීම කළ හැකියි. කළ යුතුයි. යම් හේතුවක කර්මයක් ඵලදී නවාතැන අයත් කාන්තාව ඔහුට රෑ කෑමක් ගෙනත් දෙයි. පුදුමයි! එපා කිවුවද , ලැබෙන්නට ඇති වේලක් ඇත්නම් නොවරදින හැටි!
පහන දල්වන කාලය.. ඔහුගේ සංසාරගත බිරිඳ ගේ පිළිවෙල සහ සූදානම ගැන ඔහු විමතියට පත්වන තවත් එක් අවස්ථාවක් පමණයි. ඇය පාරමිතාවට ගොඩක් සූදානම්, ඔහුට සිතෙයි. අනේ සාදු! ඒ පාරමිතාව ඒ අයුරින්ම ඉටුවේවා!
ඔහු මේ සටහන ලියන විට ඔහුට ඔහු ගැනම කණගාටුවක් දැනේ. මෙය ලියන්නට සූදානම් කළ , සැළසුම් කළ සටහනක් නොවේ. නමුත් ඔහුට යමක් කරවීමට සිත දරන උත්සාහයේ ඵලයක් බව ඔහුට සිතේ. දැනට ඔහු අසරණය. සිතට පරාදය. නමුත් ඔහුගේ හමුදාව ගැන ඔහුට විශ්වාසය. නුදුරේදීම සටන දිනන්නට හැකිවනු ඇත. ඇතැම් විට ඒ පූර්ණව දිනනා ගමනට තව දුර යායුතු විය හැක. නමුත් යන්නේ හරි මග බව ඔහුට විශ්වාසය . අධිශ්ටානයන් සිදුකර, සසර ණය ගණුදෙනු කමාකර කලින්ම නින්දට යායුතුය. බුදුන් අවදි වූ ඒ හිමිදිරි පාන්දර අවදි විය යුතුය. කාර්යබහුල ජීවිතය නිසා මගහැරුණු ඒ හෝරාවේ අවදි විය යුතුය. මේ ගමන ආ යුතුද? ඔව් ආ යුතුයි . ඔහුට නැවතත් එය විශ්වාසයි! වෙනදා ඇඳ ඇතිරිලි සාදා සියල්ල පිළියෙල කළ සසරක පුරුදු සිනහවකින් සංග්‍රහ කරන ඇය අද ළඟ නැත. ඒත් ඒ පරම ගම්භීර විමුක්තිය සොයා යන ධෛර්යමත්, වීර්යවත් සිත සහ ඇයගේ මහා ආශිර්වාදය ඔහු ළඟ ඇත.
2020 දෙසැම්බර් 24 දිනය අවසන්…
මතුසම්බන්ධයි ….
