You are currently viewing මග වඩන ආර්ය ශ්‍රාවකයෙකුගේ දින පොතින්…

මග වඩන ආර්ය ශ්‍රාවකයෙකුගේ දින පොතින්…

Spread the kindness...

ගෞතම බුද්ධ ශාසනය තුළ සාක්ෂාත් කළා වූ උපරිම ඤාණ සම්පත්තියක් ඇති අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිළිබඳ අපි අසා ඇත්තෙමු. සෝණ මහ රහතන් වහන්සේ ඒ අතරින් සුවිශේෂී වන්නේ පරිපූර්ණ වීර්යයක් ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ නිසාවෙන්මය. යමෙක් කාම ලෝකයේ ගින්න දැක, පැවැත්මේ දාහය දැක, එය තම වසඟයේ පවත්වන්නට නොහැකි අසාර වූ ,අසුභ වූ දෙයක් යැයි දැන, යම් දිනයක නිවීම උදෙසා තීරණයක් ගත්තේ නම්, ඔහු ඒ මොහොතේ පටන් තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වන්නේය .
සදාකාලික සතුට, සැනසීම, නිවීම සොයා යන මේ වැඩපිළිවෙලේදී පුද්ගලයා සතු විය යුතු, නොඑසේ නම් වැඩිය යුතු බලයන් පහක් පිළිබඳව බුදු දහමේ සඳහන් වේ. ඒවා නම් ශ්‍රද්ධා , වීර්ය, සති ,සමාධි, ප්‍රඥා යන පංච බලයන් ය.
බුදුන් කෙරෙහි අචල වූත් ,අවංක වූත් ශ්‍රද්ධාවක් ඇති වී, යා යුතු මග මෙය යයි හේතුඵල විශ්වාසයකින් යුතුව පිළිගනී නම්, ඔහු ශ්‍රද්ධා ඉන්ද්‍රියෙන් අධි මුක්ත වන්නේය.ඒ විශ්වාසය ඇති වූ පසු, “මේ මහා දාහය නැති කිරීමට නම් මම ම වීර්‍යය වැඩිය යුතුයි. එය මා වෙනුවෙන් අනෙකෙක්ට කළ නොහැක්කක්” යන නොකැඩෙන උත්සාහයක්, වීර්යයක් ඇති කරගැනීමට ගන්නා තීරණය තුළ ඔහුගේ වීර්යය ඉන්ද්‍රිය වර්ධනය වේ . මේ ආකාර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙරෙහි අවංක ශ්‍රද්ධාවකින් හා වීර්‍යයකින් යුත් තවත් එක් ගිහි ආර්ය ශ්‍රාවකයෙක් නිවීම සොයා යන මාර්ගයේ දී සිය දින පොතක ලියා තැබූ සටහන් පෙළක්, නිවීම සොයා යන කළ්‍යාණ මිත්‍රයන් කෙරෙහි දයාවෙන් , ඔවුන්ගේ ධර්ම මාර්ගය වැඩීමට යම් කිසි උපනිශ්‍රයක් වේවා යි යන අධිටනින් ,අද පටන් කොටස් වශයෙන් ඔබ වෙත පිළිගන්වන්නට බලාපොරොත්තු වෙමු.
මේ එහි පළමු දිගහැරුම යි…

2020 දෙසැම්බර් 24
එන ගමන ගැන ඔහුට විශ්වාසයි. ඔහු ගත කරන සැපවත් ජීවිතය තණ අග පිණි බිඳුවක් මෙන් අනියත බව හොඳින් ම ඔහුට වැටහේ. ඔහු මාවතගම පසුවී වාහනය නවතා බුදුන් වැන්දා . ” සබ්බ පාපස්ස අකරණං “යන සියලු බුදුවරුන්ගේ දේශනා ගාථාව තෙවරක් සජ්ජායනා කළා. එදා ඒ මාර සේනා පැරද වූ තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ වීරත්වයට, ඒ සත්‍යයානුභාවයට ඔහුගේ සිත ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් උපනිස වනු දැක ඔහු “ජයෝ මුනින්දස්ස” ගාථාව තෙවරක් සජ්ජායනා කළා ,පන්සිල් ගන්නා මොහොතේදී අනන්ත සසර පුරා යම් හෝ ආත්ම භවයකදී පිහිටා සිටි, සමාදන් වූ ශීලයන් ඔහුට ආශීර්වාද කරන බව දැනුණා.
නැවත ගමන ආරම්භ කළ නමුදු මෙවන් මහා පින් විපාකයක් නිසා ලැබුණු උතුම් දෙමාපියන් හා උතුම් කාන්තා රත්නය දමා යෑම පහසු කාරණයක් නොවන බව ඔහු හොඳින්ම දැන සිටියා. ඒ අති උතුම් ධම්මචක්ක පවත්නා සූත්‍රය වාදනය වීමට හැර එහි අර්ථ මෙනෙහි කරන ඔහුට ඒ ගාම්භීර ධර්මස්කන්ධය ගැන ඇතිවූයේ අතිමහත් ගෞරවයක්, ශ්‍රද්ධාවක් .. නුවර කලබලයි .පාරක් හදන නිසා ලොකු කලබලයක් .පමා වෙන බවක් දැනේ.ඒත් කුමකට නම් දුවන්න ද? සුදුසු කල සුදුසු අයුරින් කටයුතු සිදු වේවි.එක එක අය එක එක ගමන්..නමුත් ඔහුගේ ගමන ඔහුට ගොඩක් වෙනස් විදිහට දැනෙනවා.
දළදා මාලිගාවේ පිටුපස දොරටුව ඇරලා. ඔහු එතැන යම් වේලාවක් නවතා සිටියා. නැවත වාහනය පණගන්වා යත්ම , එතෙක් දිගු ගමනකට මාර්ග නීති නොකැඩුනද, නිදහසේ තිබූ පදික මාරුවක මැදට පදවා යාමට ඔහු ක්‍රියාත්මක වුණා තනිවම සිටි පොලිස් නිලධාරියෙක්… නිලධාරියාට ගමන ගැන ඇසූ නිසා කිව්වා. දඩයක් ලියන්නට කියාද කිව්වා. නිලධාරියා ඔහු විවාහක බවත් තනිවම මෙවන් ගමනක් යෑම ගැනත් ඉතා තදින් වික්ෂිප්ත වුණා..ඒත් ඒ නිලධාරියාට ඔහුව නවතා ඒ ගමනට බාධා කරන්නට සිත් නැහැ. “පුළුවන් දෙයක් කරන්න” යැයි නිලධාරියා කිව්වත් එවන් දෙයකට ඔහුට සිත් නෑ. ඔහු “ඔබතුමාට බොහොම පින්! තෙරුවන් සරණයි!” කියා පැමිණුනා. නිලධාරියාට එය දැනට නොවටිනවා වූවාට “තෙරුවන් සරණ” යනු ලොව උතුම්ම ත්‍යාගයක් බව තේරෙන දිනට ඔහු එහි ආශිර්වාදය උපරිමයෙන් ම විඳිනු ඇති. ඒ නිලධාරියාට ඒ ආශිර්වාදය ලබන්නට හේතු ඇති. නැතිනම් මාර්ග නීති ඒ මොහොතේ කැඩෙන්නට හේතුවක් ඔහුට තාම සිතා ගන්නට අපහසුයි….

මතු සම්බන්ධයි…


Spread the kindness...

Leave a Reply